Sunday, October 6, 2013

මගේ ප්‍රේමය.




අත් අරින්න බැරි සංසාරික ගැලපුමක් ළඟ ලෝභ හිතෙන බැදීමක් අපි දෙන්නටම තියෙන්නෙ.

" හැබැයි ඔයාට වඩා මං ඔයාට ආදරෙයි..."
" පිස්සි..මමත් ආදරෙයි..."
" නෑ...මමයි වැඩියෙන් ආදරේ..."
" අනේ ඇත්තටම කොහේ තිබුණද ඔය ආදරේ..."
" දන්නෙ නැහැ..ඒත් මගෙ පපුව පිරිලා ආදරේ උල්පතකින් වගේ ගලනව..."
" හම්මේ..මට දැනෙනව රත්තරං...."
" මේ..ඔයා කවදාවත් මං තරම් ආදරේ කරන්න එපා..."
" ඒ මොකද මැණික..."
" එතකොට මං පරදිනවනෙ අනේ..."
" මගෙ හොර කෙල්ල..."
" ඇයි..ඇයි.."
" ආහ් හරි හරි..ඔයා දිනුම් රත්තරං...ඒත් ඇයි වස්තුව මට මෙච්චරම ආදරේ කරන්නෙ..."
" ඔය ඉතින්..ආයෙ අහනව...මේ..පිස්සි හුස්ම වගේ ඔයාට ආදරෙයි අනේ.."
" මං දන්නව දන්නව..ඒත් මෙච්චරම. "
" ඒක අද ඊයෙ නෙමෙයි පැට්ටො..ආත්ම ගානක් තිස්සෙ මං ඔයාව හොයාගෙන එන්නෙ."
" ඒක නම් ඇත්ත තමා..කොහේද මගෙන් හැංගිලා හිටියෙ මෙච්චර කල්..."
" කෙල්ල හොර කෙල්ලනෙ..ඒකයි ඒ..."
" පිස්සි.."
"හරි හරි පිස්සි වුනාට මං ඔයාට පණ වගේ ආදරෙයි අනේ.."

කවුරුවත් කිවුවට පිළිගන්නෙ නැති..කාටවත් කියන්න බැරි ඔයාගෙයි මගේ මේ අප්‍රමාණ..අසීමාන්තික ආදරේ.. අනේ අපි දෙන්නගෙවත් ඇස් වහ වදින්න එපා. දවසින් දවස තව තවත් රැකෙන්න කියල ඉස්සර වගේම මං අදත් පතනව. 

Saturday, July 27, 2013

ඔබයි - මායි

හිමි වීම්ම විතරක් තිබුණ නම් ජීවිතය කියන ගමනෙහි කොයිතරම් සුන්දරත්වයක් ඇද්ද?
ලක්ෂ කෝටි ගණනින් ඉපිද මැරෙන සිතුවිලි ළඟ හෙට ගැන හදවතේ පණ ගැහෙන සිතුවිල්ල මෙන්න මෙහෙමයි කියන්නට බැරීවීම තරම් දුකක් තවත් ඇද්දැයි මා සොයමි. වෙහෙසෙමි. 


හොල්මන..කෝ කොහෙද...

ඇයි මේ ඉන්නෙ..මාව පේන්නෙ නැද්ද..

අපොයි පේනව..ඒ වුනාට ඔය අහස පොළව ගැට ගහන්න වගේ මොනාද හිතන්නෙ..

මොකුත් නැහැ...



මොකුත් නැත්නම් යනව කටු ගෙට..

කියන කම් ඉදියෙ...

දැන් කිවුවනෙ යනව ඉතින්..

අන්න ඒ වගේ දවසක ඔයාට එපා වුනොත් මට කියන්න..

මැටි පූසි..මේකිට දෙයක් කියන්න බැරි හැටි..

මෝඩියෙ ඉන්න මොහොතෙ හිනාවෙලා ඉදින්

එහෙම ඉන්න ආසයි..ඒත් මට බයයි අයියා..

ඇත්තමයි මේකි මොකකට මෙච්චර ලොකු ඔලුවක් දුන්නත් වැඩක් නැහැ..තියෙන්නෙම මැටිම තමා..

මැටි වුනත් මං කියන්නෙ ඇත්තනෙ

මොකක්ද ඇත්ත...

මට අයියව නැති වෙයි කියල බයයි...

අපෝ හොටු කෙල්ල..ඔය ඒ වචන ටික කියා ගන්න බැරුව ඇස් දෙකෙන් ටැප් එක ඇරල...

මං නැතිවෙන්නෙ නැහැ බොල..ඒත් අපිට මොනා වෙයිද කියල අපි දන්නවද මැණික...


ම්..ඇත්ත..නිමක් නැති සිතුවිලි වැල් ළග ඇවිදින් නවතිනකොට මට මෙහෙම නොහිතා තියෙයිද..?

මම ආසයි පෙම් කරන්න 
එක කඳුළක් බිම නොහෙළා 
ඔබ එනවද හිත් මළුවේ 
පරිස්සමට අඩි තියා....

 රහසින්වත් කඳුළක් වැටෙන්නෙ නැතුව ආදරේ කරන්න තිබුණ නම්, අනේ කොයි තරම් සුන්දරද..? 
ඒත් සියල්ලම අනිත්‍යය වු මේ ලෝකෙ අපිට එහෙම උරුමයන් ලැබෙන්නෙ නැහැ. 
කොයි දේකත් දෙපැත්තක් තියෙනව. හිනා වුනොත් අඬන කියන වචනෙත් තියෙනව කියල අපි දැනගෙන ඉන්න ඕනි. ඒ තමයි ඇත්ත.. යථාර්තය.. 

ඈතින් පේන මධ්‍යධරණී මුහුදෙ රැල් නැගෙන හැටි සඳැල්ලෙ ඉදන් බලා ඉන්න මගෙ ඇස් රැවටෙනව. 
ඒ රැලි අතරින් ඔයා එනව කියල මට හිතෙනව. මගෙ හිසට අතක් තියල ලෝකෙ ගැන තේරුම් කරල දෙනව වගේ දැනෙනව..

මල් ගස්වල මල් පිපෙන්නෙ 
පරවෙන හැටි කියාදෙන්න 
තෙත් වෙන නෙත් හිස් කරන්න 
එක පාරක් හිනාවෙන්න....

හරියට ඉස්සර දවසක ඔයත් එක්ක තරහ වුනාම මතකද ඔයා කියනව ....
ම්...ම්..පිස්සියෙ....
ඇයි....
දැන් හිතන්න කළුවර එන්නෙ ඇයි..
මං දන්නෙ කොහොමද....
ඉරට මහන්සි හින්දා..
අනේ යනව යන්න.....
යනව යන්න නෙමෙයි......ඉර දවාලෙ දුන්න ආලෝකය රැස් කරගත්ත සඳ ඉර නැති අඩුව මකනව. 
හැබැයි අපි නොහිතන දේ හරියට බැටරියක් චාර්ජ් කරනව වගේ..
ඒත් ඊටත් වෙනස්..ඒ ඉර එළියෙ හඳ එළියෙ ආලෝකය අරගෙන ලෝකෙ ලස්සන කරන්න මල් පිපෙනව.. නමුත් ඇයි ඒ මල් පිපෙන්නෙ අපිට ලස්සන කියල දෙන්නෙ.. හැබැයි ඒ පිපුණ මල්ම පරවෙනව..ඒ අර ලස්සන තාවකාලිකයි කියල ආයෙමත් අපිට කියල දෙන්න...

බුදු අම්මෝ මෙයා දන්න දේවල්...
දන්න දෙයක් නෙමෙයි..කාටත් දැනෙනව සුදු..ටිකක් නැවතිල්ලෙ හිතන්න..
අනේ මට එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ..
දවසක මහන්සි වෙලා හිතන්නම වෙයි..
පිස්සු හැදෙයි....
පිස්සු හැදෙන්නෙ මෙන්න මෙහෙයි...
ඌයී....අත අතරින්නකෝ 
බෑ..හිනාවෙයන්...හිනාවෙයන්....
බෑ...මං හිනාවෙන්නෙ නැහැ.....
ඇත්තද...ඔය මුහුණ මෙන්න මෙහෙමයි...
ඊයා..හැටි විතරක්..වඳුරෙක් වගේ....
ආහ්...දැක්කද වඳුරගෙ මූණ දැකල හිනාවුන හැටි..... "ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි නගා....." මට බයයි මේකිව කවුරු හරි උස්ස යයිද කියල...
ඔව් ඔව් මම යයි...
යන නොයන හැටි කොහොම වුනත් කොයිවෙලේවත් ඇස් දෙක තෙත් කරගන්න එපා රත්තරං.. ඒ වෙලාවට එක පාරක් හිනාවෙන්න. ජීවිතේ දැනෙයි ඔයාට....

ඇත්ත..ඒ ජීවිතේ දැනෙන හැටි මං හුස්මක් හුස්මක් ගානෙ අද විදිනව. අපි අද ලෝකෙ කොහේද.. හැතැක්ම දාස් ගානක් ඈත. ඒත් පුංචි දේටත් මටත් නොදැනිම හිල්වෙන අහසක් වගේ ඇස් දෙක ඉස්සර වුනාට ඒ මැද්දෙන් හිනාවන්නෙ කියල දුන්නට කොහොම නම් මං පිං දෙන්නද....?

 ආදර ගඟ ගලා යන්නෙ 
නැහැ තැන තැන නතර වෙන්න 
සයුර වෙලා වැළද ගන්න 
ඔබට හැකිද මට කියන්න..

ඒත් ආදරේ ගලන හැටි ඔයාට කියන්න මට තේරෙන්නෙ නැහැ. ඇගේ හැම ලේ බිංදුවක් පුරාම තියෙන්නෙ ආදරේ..ඇට..මස් කකියනව ආදරෙන්... කොයිම මොහොතකවත් නතර කර ගන්න මට බැහැ... 
ඇස් ඇරෙන මුල්ම මොහොතෙ ඉදන් ඇස් පියවෙන මහ රෑ මැද්ද වෙනකම් නෙමෙයි නිදි ලෝකෙ සිහිනටයත් ඇවිදින් ළග ඉන්න හැටි දන්නෙ මං විතරයි..
 ගලායන ගඟක් වගේ මේ ආදරය..කිසිම බාධකයට නතර වෙන්නෙ නැහැ... ඒ ගඟ ගලා යන කොට පෙර මඟක ඉන්න සයුරක් වගේ 
එහෙම ඇවිදින් මාවත් බදා ගන්න පුලුවන් නේද...?

ඉර හඳ තරු වඩාගන්න 
සිඳු හට නෑ බර දැනෙන්නෙ 
හිත් කරදර මැකීයන්න 
ඔබ ඇවිදින් නතර වෙන්න...


සිහින කියන්නෙ බිඳෙන දෙයක්...ඒක මං හැමදාම කියන දෙයක්..දැනෙන දෙයක්..
ඒ වෙලාවට ඔයා
....
අනෙ මගෙ පිස්සි කියල මට හිනාවෙනව...
එකම චැට් හිස්ටොරිය....කතා කරන කෝල් එකක වචන ගැන ඔයා යන්න ගියහම ආයෙ එනකම් මට කඩපාඩම් වෙන තරමට මතකයෙ ගැවසෙනව...
හැම පුංචි අකුරක් ගානෙම..වචනයක් ගානෙම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මං තනියම හිතනව කියල ඔයා දන්නෙ නැතුව ඇති...
ඒත් ඇත්ත ඒකයි...    

ආදරය කියන එක මේ තරම් හදවතක හැඟුම් දළුලනව කියල මං අත් විඳල තිබුණෙ නැහැ...
 
ඒ සියල්ලම තව තවත් වැඩි වෙන්නෙ ඔයා ඇවිදින් හිත සනසන්න ජිවිතේ අලුත් අලුත් මල් ඉන්දනකොට.. සත්තයි ඒ හැම මල් පොහොට්ටුවක් ගාවම මම අලුත්ම අලුත් කෙනෙක් වෙනවත ජිවිතේට ලෝබ හිතෙනව.
ලෝකෙටම වටින ඉර හඳ තාරකා දෝතින්ම බදාගෙන වඩාගන්න තරම් ශක්තියක් මහ සයුරට තියෙනව. කවදාවත් සයුරට ඉරහඳ තරු බරයි කියල දැනුනෙ නැහැ හිතුණෙ නැහැ. ඔයාටත් මාව එහෙම දැනෙන්නෙ කියල හිතෙනකොට මං කොච්චර වාසනාවන්තද...

ඒ හැමදේම පැරදෙන්නෙ ඔයා ආත්ම ගාණකට නෙමෙයි මේ සංසාරෙ නිවන් දකින්න උපදින දා තෙක්ම මාවම ඕනෙයි කියල කියනකොට මගෙ මුළු හිතම නිවී පහන් වෙනව. සත්තයි.















Thursday, May 30, 2013

*** නොලැබීම ***

සිහිනයියා....මට ඔයාව මතක් වුනා...
ඒ අහම්බෙන් නෙමෙයි..ඇත්තටම...
මුළු නුවර පුරාම ඔය අතේ එල්ලිලා ඇවිදගෙන ගිය අතීතය මතක් වුනා..
හ්ම්..ඇත්තමයි...
නුවර පොලිසිය ගාවින් පුෂ්පදාන කන්ද නැගල හති දදා ඇවිද ගියපු අතීතය මතක් වුනා... 


මහවැලියෙ දිය බිංදුවක් බිංදුවක් ගානෙ වෙන වෙනම අරන් සාක්ෂි කියන්න පුලුවන් නම් ඒ ආදරේ වෙනුවෙන් පෙනී සිටියි..

අපේ ආදර විත්ති කූඩුවෙ තීන්දු තීරණ හැමදේම සිද්ද වුනේ අපි හිතුවෙවත් නැති විදිහට...


දන්නවද හරිම පුදුම විදිහට ඔයාව මට මතක් වුනේ ඇයි කියල...
ඒකත් මහ පුදුමයක් සිහිනයියෙ...හැන්දෑවෙ චුරු චුරු අහසක් වගේ මලානික වෙච්ච මුහුණින් ජනෙල් පියන්පත් අරිනකොට මාව පෙරළනෙ යන වේගෙන් ආව සුළඟත් එක්කම මට හන්තාන කන්ද නැගපු අතීතය මතක් වුනා..
එදා අයිය ගාවින් හමපු මුදු පිරිමි සුවඳ අදත් එනවද කියල බලන්න මං මේ සුළඟට මුළු හදවතම විවර කළා...
ඒත් එදත් අයියගෙ සුවඳ හුළග ගෙනිච්ච වගේම අදත් හුළඟ එක්කම ගිහින් කියල මට තේරුම් ගියා...පැනල බදාගන්න හදපු අතීතයෙ වගෙම අද මේ වත්මනෙත් ආදරේ හිස්තැනක් නේද කියල මට මතක් කලා...

නන්නාදුනන රටක හතර වටින්ම මහ මුහුදකින් වටවෙලා දුවගෙන දුවගෙන ගිහින් හැංගෙන්න මගේම කෙනෙක්වත් නැති දිහාවක තාමත් මං ජිවිතේ එකතු කරනව කියල දැනෙද්දි පුදුමත් හිතෙනව අයියෙ...


...සත්තමයි...මේ අහස අල්ලගෙන විරාජමානව තියෙන මහා බිල්ඩිම්වල සෙවනැල්ලත් මාව බය කරනව...
මං ගැස්සිලා ඇස් පිල්ලම් ගහන වාර ගාන මෙච්චරයි කියල කියන්න බැහැ.

පිස්සි..මොකද මේ ගැස්සිලා...
ආහ්...මං මොකටද ගැස්සෙන්නෙ..අයිය මං ළඟ ඉන්නකොට...
අපෝ ඔව්..චණ්ඩිකම පේනව ඔය කම්මුල් දෙකේම රතු පාටින්...
...අනේ යන්න අයිය යන්න...
...හා මං යන්නම්...ඔයා මෙතන ඉදන් තනියම යන්නකො...
ඒ ඉස්සරම දවස්....

තනියම දාල යනව කිවුවට කවමදාවත් දාල ගියෙ නැහැ...ඒත් කවදාහරි එනව කියල ගිය ඔයා අදටත් නැහැ කියන්න විතරක් මං දන්නව.
එහෙම වෙලාවට මං මැරි මැරි ඉපදෙන වාර ගාන මෙච්චරයි කියල මට කියන්න බැහැ අයියෙ.


මං දන්නව මේ කිසිම අකුරක් අදවත් මතුවත් ඔයා දකින්නෙ නැහැ.. දකින්න ලැබෙන්නෙත් නැහැ...

ඒ වගේම එදා හිටපු දඟමල්ල පුංචි කෙල්ල අද ජිවිතේ පරිණත වගකීම් සහිත කෙනෙක්...
එහෙම කිවුවම මට හිනාවෙයි නේද...ඒත් නොහිතනම ඇත්ත ඒක අයියෙ..පාර පැනගන්න බැරුව ඇගිල්ල කට ඇතුලෙ දාගෙන අයියගෙ මුහුණ දිහා බලපු චුටි කෙල්ල අද ලෝකෙ තව දිහාවක...
ජිවිතේ පරදින්න බැරිකමට ආදරයෙ පැරදුම බාරගත්තා කියලත් වෙලාවකට මට හිතෙනව...
මේ දැනුත් පපුව හාරල වගේ රිදුමක් ඇවිදින් ඇස් දෙක ලොකු කඳුළු ගුලියකින් බොඳවෙනව වගේ...

අයියෙ මට මාළිගාවට යන්න ඕනි...
ඉතින් මට කියන්නෙ...අර ඔයාගෙ මහ ලොකු යාළුවො ටික ඉන්නෙ...
ආහ්...මට ඕනි ඔයා එක්ක යන්න...
ඇයි කකුල් දෙක මං ගාවද...
ඔව්...ඇයි...
එන්න එපා එකටෙක කියන්න....මෝඩි...
ඔව් මං මෝඩි තමයි....
එහෙනම් මොකටද පොත් තෝරන්නෙ....
කොල්ලට දෙන්න...

ආහ් ඇත්තද....
 එදා අපේ ඉස්කෝලෙ ඉස්සරහ ශාන් බුක් ෂොප් එක ඇතුලෙදිම මගෙ කණ මිරිකපු හැටි ...
මේ දැනුත් නොදැනුවත්ම අතින් කණ අතගෑනෙව...

ඒත් පුරපෝය හඳ වහ ගන්න කළු වලාවක් වගේම අයිය මගෙ ජිවිතෙන් නොපෙනි ගියා...එදාවත් තවමත් මට මාළිගාවට යන්න බැරි වුනා කියල අයිය දන්නෙ නැතිව ඇති..

එදා බුක් ෂොප් එකේ ඉදන් එද්දි ටවුමෙ කැසට් බාර් එකකින් අයිය අරන් දුන්න දිවුල්ගනේගෙ කැසට් පටය මට දැනුත් මතක් වුනා... ඒක අයියයි මායි දෙන්නම ආස කරපු එකම සිංදුව.

.....මා ඔබත් එක්ක සුහඳ කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.....

අද අපිට ඇස් දිහා බලන්වත් ප්‍රේම කරන්න බැරි බව දන්නෙ අපි අපිම විතරයි...

හීයක වේගෙන් වගේ අතීතයට දුවගෙන යද්දි මහා වැස්සටත් වැඩියෙන් දිය ගලන් වැටෙන්නෙ මගෙ පුංචි ඇස් දෙකෙන්...
අහම්බෙන්වත් ඔය ඇස් දෙක තෙත් කරගන්න එපා පිස්සියෙ...

කියල ඔයා කොච්චර නම් කියන්න ඇද්ද... 
අහම්බය කෙසේ වෙතත් දැන් පුරුද්දක් වගේ හැම පුංචි දේටත් මගෙ ඇස් දෙකේ තෙත පිරිලා...

කවමදාහරි නීතිඥයෙක් වෙලා මහනුවර උසාවියෙ කෝට් දාගෙන ඇවිදින මඟෙ දඟ මල්ල මට මැවිලා පේනව...

කියපු සිහිනයියෙ අද කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගමන් මඟේ දැනෙන හැමදේම තාලයකට හරවල අකුරු කරන්න පුරුදු වුන කවදාකවත් සිහිනයකවත් නොතිබුණ කවිකාරියක් වෙලා කියල විතරමයි..

ඒත් ඒ හැම කවියකමත් ආලය මට පැටලෙනව කියල කියාගන්න දන්නෙත් මංම විතරයි...






Thursday, February 28, 2013

සාඳු නාද දී එන්න...

        හිමි අහිමි කම් ළඟ ගලා යන ජිවිතේ මෙන්න මෙතනයි නිවැරදිම තැන මෙන්න මෙතනයි වැරදුන තැන කියා කියන්න බැරි වෙලාවල් වලදි අපිට අපේ හදවතේ ඉපදෙන අනේක විදි සිතුවිලි පෑන් තුඩෙන් කොහේ හෝ ලියනව. සමහර වෙලාවට හදවතේම ලියා ගන්නව . ඒ වගේමයි කොයි තරම් ගොන් කම් කලාද කියල අපිට තේරෙන්නෙ ඕනිම දෙයක් සිද්ද වෙලා කාලයක් ගියාට පස්සෙයි.

           අතීරණයක දවස් ගෙවද්දි දහ අතේ දුවන සිත මුරණ්ඩු කම් කරද්දි භාවනාවක් වගේ අකුරු දිගේ ඇවිදීම ඇත්තටම මට සැනසුමක් වුනා. දැනුවත්ව හෝ නොදැනුවත්ම මා වඩාත්ම ආදරය කරන ගීතය දිහාට මගේ හිත පිය නැගුව. කවමදාහරි හො ගේය පද රචිකාවියක් වෙන එක අරමුණට තියාගෙන අකුරු ගලපද්දි දවසක් දන්න හදුනන අපේ හාමුදුරු කෙනෙක් කතා බහ කළා. ඒ කතා බහ එක්ක තමයි මගේ මේ කියන්න යන ගීතය උපත ලබන්නෙ.

     උන්වහන්සේ අපි හුඟක් අය දන්න ධම්මසිද්දි හාමුදුරුවො. ඒ දවස්වල උන්වහන්සේ ධර්මය අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීමට ගුවන් විදුලියක් ආරම්භ කිරීමේ කටයුතු වල ඉතාමත් වෙහෙස මහන්සිව කටයුතු කරන සමයක්.

         මේ අරඹන ගුවන් විදුලියට තේමා ගීතයක් අවශ්‍ය වෙලා තියෙනව. ඉතින් මුහුණු පොතේ මම වගේම ලියන කියන කිහිප දෙනෙක්ට කියල තියනව තේමා ගීතයක් ලියල දෙන්න කියල. මමත් ඒ අතර කෙනෙක්. ඉතින් මම ගැන කියන්න ඕනි නැහැනෙ. අංක එකේ පොලු කාරයෙක් කිවුවොත් කවුරුත් පිළිගන්නව. මොකද අධික වෙහෙසව රාජකාරි මැද්දෙ බුකියෙ මොකක් හරි ලියල ගියාට ගීතයක් ලියද්දි මම නිවි සැනසිල්ලෙ හිතනව. ඒ ගැන අකුරෙන් අකුර හදවතේ ගොඩනගාගෙන මං ඒ අකුරු ඇතුලෙ ජිවත්වෙනව.

            ඉතින් කිවුව වගේම මම මේකටත් පොලු කාරයෙක් වුනා. ඒත් මේක මගෙ හදවතට ටිකක් විතර සමීප වුනා.. ඔන්න වචන ටිකක් ලියන්න ඕනි කියල හිත කිවුව. අපිට ඉතින් පෑන් පොත් අරගෙන ඒව පිරෙන්න ලියන පුරුද්දක් නැහැනෙ. බොරු කියන්නෙ මොකටද.. ලැප් එක ළඟ නැවතිලා ඒකෙම යුනිකෝඩ් වලින් කොටනව ඇරෙන්න..

                   මම ඉතින් පෝය දවසක ලස්සනට හඳ පායල තියෙනව හිතේ ඇදගත්ත. ඒ පෝය හඳ මම ධර්මයට උපමා කළා..පෝය හඳ පායපු අහස හරිම පින්බරයි. ඒක අපි කාගෙත් ඇස් වලින්ම දැකල තියෙනවනෙ. ේද... අර පායපු දහමෙ හඳ නිසා මුළු මහත් ලෝකයම පැහැබර වෙලා කියල මට හිතුණ. ධර්මයෙ ආලෝකය ලෝකයට වැටෙනව. මම කියනව මිනිසුන්ට සාඳු නාදය දීගෙනම එන්න. යන්න ඇවිදගෙන සංසාර ගමනෙ කියල. ඉතින් අර දහමින් පිරුණ පුන්‍යවන්ත සඳ තමයි දහම් ගගන රේඩියෝව.  

         ධර්මය ලෝ පුරා බෙදා හරින, මුහුණු පොතේ මා දන්නා විදිහට ප්‍රථම දහම් ගුවන් විදුලිය  තමයි දහම් ගගන රේඩියෝවත්.ඉතින් අපේ හාමුදුරුවන්ගෙ මුලිකත්වයෙන් පටන් ගන්න යන රේඩියෝවට මම තේමා ගීතයක් ලියල යැවුවෙ ඔන්න ඔහොමයි.  ඒක ඉතින් මට අමතකයි ටික දවසක් යනකොට.  ඔන්න දවසක් අපෙ හාමුදුරුවො මට එවනව බුකියට පණිවිඩයක්.  අක්කගෙ ගීතය රේඩියෝ එකේ තේමා ගීතයට අපි තෝරගත්තෙ කියල. මට දැනුන සතුට මෙපමණයි කියන්න බැරි වුනා..කොයිතරම් අකුරු ගලපන් හිතට එන දේවල් ලිවුවත් ධර්මය බෙදා දෙන තැනක මෙහෙම ලියවුන අකුරු ටික මට කෝටියක් වටිනව. මේ තියෙන්නෙ ඒ ලියවුන අකුරු ටික.  මේ අවුරුද්දෙ නව වසරට සුබ පතන්න එක්ක අපේ හාමුදුරුවො බුකියෙ මගෙ බිත්තියෙත් එල්ලල තිබුණ.




අකුරු ටිකෙන් තේමා ගීතය දැක්කනෙ. මේ අකුරු ටිකට පණ දෙන්නෙ මාතර D'TAP එකේ නායකය වෙන දයාන් අරවින්ද. තනුව වගේම හඩත් ඔහුගෙ. දැන් ඉතින් ඔබට අහල බලන්න ඕනි නේද ඒ මියුරු ගීතය.

මේ තියෙන්නෙ. අහලම ඉන්නකො.







මගේ හිතේ ඇතිවුන හැගීම මම ඔබට කිවුවට වඩා  සිය දහස් ගුණයකින් වැඩි කරමින් දැනෙනව නේද ගීතය රස විදිද්දි. ඉතින් තව මොනව කියන්නද අපේ හාමුදුරුවන් ධර්ම ප්‍රචාරය කරගෙන යන රේඩියෝව තමයි මේ..

http://www.dahamgagana.com/

ඔබටත් ඩ ලැබෙන වෙලාවට රේඩියෝ එක අහන්න. මොකද ජිවිතේට..සංසාර ගමනට නිවැරදි මඟ කියන බණ දහම්, භාවනා වැනි බොහොම හරවත් දේ විතරමයි ඒ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙන්නෙ.  ඉතින් මෙවන් පුන්‍ය කර්මයකට මා සහභාගි වුන හැටි සහ එහි උපත ගැන තමයි අද මම මගේ ගේය පද රචනා වලදි ඔබට ගෙනාවෙ.
 මාව එවන් දෙයකට සහභාගි කරගත්ත අපෙ හාමුදුරුවන්ටත් පුන්‍යානුෝදනා කරන ගමන් නිඳුක් නිෝගී දීර්ඝායුෂ පතන්න මම ේක අවස්ථාවක් කරගන්නව.


ඇවිත් කියවල යන ඔබ හිතට දැනෙන වචනයක් ලියල යන්නත් අමතක කරන්න එපා. 

මම
දිනිති.





Tuesday, February 12, 2013

" දෝණියේ ....."


පිටාරය යයි සොරෙව්වේ දිය
කඳුළු කෙණ්ඩිය පිපිරිලා
තාම ගම නා කාරණේ කිම
පැංචියේ නුඹ කියාපන්....
සංදියේ පොඩි නුඹව එල්ලන්
ඇවිද ගිය ගම් මණ්ඩියේ
තාම පා පොඩි තනි රකියි
දූට අමතක වංගියේ....

වැඩිය ගණදෙව් දූගෙ අහසට
සෙයිලමේ අද සරස්වතී....
ගෙපැල එළිකල ලක්ෂ්මියේ
යළිදු එනුමැන හිනැහිලා...
යළිදු එනුමැන හිනැහිලා.....

සත් වටක් කර ගසන් පැන් කල
තාම පැදකුණු කරමි බෝ මැඩ
වැවේ සුළගින් නුඹේ සුවඳත්
ඔතාගෙන ගම වරෙන් දෝණී
ඔතාගෙන ගම වරෙන් දෝණී....

පිටාරය යයි සොරොව්වේ දිය
කදුළු කෙණ්ඩි පිපිරිලා
තාම ගම නා කාරණේ කිම
පැංචියේ නුඹ කියාපන්.....
සංදියේ නුඹව එල්ලන්
ඇවිද ගිය ගම් මණ්ඩියේ
තාම පා පොඩි තනි රකියි
දූට අමතක වංගියේ....

සංගීතය - ධනුක අමල්ෂ
ගායනය - ධනුක අමල්ෂ
පද - දිනිති දීපිකා

               මේ ගීතය මම ලිවුවෙ මගේ කුලුදුල් ගීත නිර්මාණ එකතුව කරපු හීන කුමාරි සීඩී එකට.... මේක ගීතයක් විදිහට තෝර ගන් වුනු හේතුව මම මගෙ සීඩී එක කලේ විවිධ තේමාවන් යටතේ ගීත ඇතුලත් කරලා.... ඉතින් මේ ෆේස්බුක් එකේම ධනුක අමල්ෂ කියන අයියා මට දවසක් කතා කරනකොට කිවුවා මගෙ නංගිට මම මට පුලුවන් දෙයක් කරන්නම් කියලා....ඒ අයියා පුද්ගලිකව සංගීතය උගන්වන කෙනෙක්...මගේ අදහස කිවුවම ඒ අයිය මෙන්න මේ කවිය තෝර ගත්තා.......

     ඔන්න දැන් මම කියන්නම් මෙහෙම ගීතයක් ලියන්න හේතුව....  බුකියෙ ඉන්න හුගක් අය දන්නවා මම පිය සෙනෙහස අහිමි දරුවෙක් කියලා.... ඒ කියන්නෙ මම මගෙ අම්මගෙ බඩේ ඉන්නකොට මගේ තාත්තා වෙන කසාදයක් බැදලා තියෙන්නෙ.... කවමදාවත් මගේ ඇස් දෙකට නොදැක්ක තාත්තා ගැන මගෙ හිතේ පුංචිම අමනාපයක්වත් නැහැ...මොකද මම අද මේ ලෝකෙ ඉන්නෙ ඒ තාත්තගෙ පරිත්‍යාගයක් නිසා....

        ඉතින් එහෙම වුනාට පිය සෙනෙහස ළග තවමත් හිත අසරණ වෙන වෙලාවල් නැතුවම නෙමෙයි..... ඔහොම දවසක් මම කවියක් ලියන්න කිසිම සිතුවිල්ලක් නැතුව හිත මහ පාලුවෙන් තියෙන වෙලාවක  මෙන්න මේ පොටෝ එක මගෙ ඇස ගැසුන අන්තර් ජාලයේ සැරිසරන කොට... 

ඒ ඔස්සෙ මට හිතුන සිතුවිලි ටිකක් තමයි මෙහෙම ගීතයක් වුනේ..
පිටාරය යයි සොරොව්වේ දිය
කදුළු කෙණ්ඩි පිපිරිලා
තාම ගම නා කාරණේ කිම
පැංචියේ නුඹ කියාපන්.....
සංදියේ නුඹව එල්ලන්
ඇවිද ගිය ගම් මණ්ඩියේ
තාම පා පොඩි තනි රකියි
දූට අමතක වංගියේ....

ඈත ගමක ඉන්න තාත්තා කෙනෙක් මගේ හිතේ මැවුනා.... ඒ තාත්තගෙ දුව විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න යන්න ඇති... ඉතින් එහෙම ගිය දුව කාලෙකින් ගෙදර ඇවිදින් නැහැ.... හැබැයි දුවත් අතේ එල්ලගෙන ගම පුරාම ඇවිද ගිය හැටි මේ තාත්තගෙ හිතේ තියෙනවා..... ඒවා තාම මේ තාත්තගෙ හදවතට තනි රකිනවා..... ඔන්න මුලින්ම මට තාත්තගෙ සිතුවිලි දැනුන හැටි...මට පිනක් නැති වුනාට මගේ හිතෙන් මම තාත්තා කෙනෙක් වුනා...මගේ මනෝ ලෝකයේ.... වැවේ වතුර පිටාරය යනවා වගේ ඇස් දෙකේ කදුළු උතුරලා යනවා දුව මතක් වෙලා.....මේ තාත්තා ඇත්තටම දුව ගැන මෙහෙම හිතනවා....

      ඊගාව පද ටික...

වැඩිය ගණදෙව් දූගෙ අහසට
සෙයිලමේ අද සරස්වතී....
ගෙපැල එළිකල ලක්ෂ්මියේ
යළිදු එනුමැන හිනැහිලා...
යළිදු එනුමැන හිනැහිලා.....

    වැඩිය ගණදෙව් දූගෙ අහසට...අපි ගණ දෙවියන් කියන්නෙ නුවණට අධිපති දෙවියන්ව...ඉතින් ඒ දෙවියො මේ තාත්තගෙ දුවගේ ලෝකෙට ඇවිත්... සරස්වති දෙවියන් ඒක නිසා අද නගරෙට ගිහිල්ලා....තව වැඩියෙන් ඉගෙන ගන්න... ඒ වුනත් මුලු ගේම එළිකලේ...ලස්සන කලේ ලක්ෂ්මි දෙවියන්... කවුද මේ ලක්ෂ්මි දෙවියො..මේ තාත්තගෙ දුව...... ඉතින් මේ තාත්තා අහිංසකව කියනවා අර ඉස්සර වගේම හිනාවෙලා ආපහු එන්න කියලා... ඇත්තටම මෙහෙම තාත්තලා අද සමාජයෙ ඉන්නවා නේද..... මට නම් හිතෙන්නෙ ඉන්නවා කියලා.....

          
සත් වටක් කර ගසන් පැන් කල
තාම පැදකුණු කරමි බෝ මැඩ
වැවේ සුළගින් නුඹේ සුවඳත්
ඔතාගෙන ගම වරෙන් දෝණී
ඔතාගෙන ගම වරෙන් දෝණී....


ඊගාවට මේ තාත්තා කියනවා බෝධිය වටේ වට හත ගානෙ පැන් කල කර ගහගෙන තාමත් දුව නමින් ආශිර්වාද කරනවා කියලා.... එහෙමයි තාත්තලා....අම්මලත්.... ඉතින් එහෙම කර කර ආශිර්වාද කරන ගමන් මේ තාත්තා අහිංසක ඉල්ලීමක් කරනවා වැවේ සුළගට නුඹේ සුවදත් ඔතාගෙන ගමට වරෙන් කියලා....කාටද කියන්නෙ අර සිදාදියට ඉගෙන ගන්න ගිය දුවට.... මෙහෙම මේ හැමදේම මගේ හිතේම මැවුන දේවල් විතරයි අර පින්තුරය දැක්කම.... ඔන්න ඕකයි මේ සිංදුව මගෙ අතින් ලියවෙන්න වුනේ..... ඒ නැතුව වෙන පුද්ගලික හේතුවක් මට නැහැ.... මගේ මනෝලෝකය...හැබැයි මම හිතුනවා ඇත්තටත් සමාජයෙ මෙහෙම දේවල් අනන්තවත් ඇති කියලා..... නැති වෙන්න බැහැ...මට නම් අත්දැකීමක් නැහැ මගෙම කියලා......
  ඉතින් ධනුක අයියා මේකට තනුවක් දාලා මට දුන්නා..... මම එතකොට සයිප්‍රස්... පලවෙනි තනුව මට හරි ගියෙ නැහැ... ඔන්න ආපහු දවස් ගානකින් තව එකක් දුන්නා..ඒකට හිත ගියා... මම කිවුවා අපි මේක ගමු කියලා... ඊට පස්සෙ තව දෙයක් වුනා මේ සංදුව සීඩී එකේ පයිනල් එක ගන්න දවස් 2ක් තියෙද්දික් රෙකෝඩින් කරලා තිබුණෙ නැහැ. මගෙ සීඩී එකේ හුගාක් සංගීතය කලේ චාමර හපන්ගම කියන මිතුරා...ඔන්න මම අන්තිම මොහොතෙ කිවුවා චාමර තව සිංදුවක් තියෙනවනේ කියලා.... මෙන්න මගෙ යාලුවා ඔලුවෙ අතගහගෙන මට බැනපි... දිනිති ඕක අනිද්දටම කිවුව නම් හරි කියලා... අනිත්මට ධනුක අයියාට කෝල් කලා එදාම එන්න කියලා.. ඒ අයියා වෙහෙස නොබලා රත්නපුරේ ඉදන් ආවෙ එවෙලෙම පිටකෝට්ටෙ..ඒ ඇවිත් රෙකෝඩින් කරලා අපි අවසාන නිමාවකට ගත්තෙ...

ඉදිරි ගීතත් එක්ක නැවත දවසක හමුවෙමු.

හැමෝටම ස්තුතියි..
මම
දිනිති දීපිකා.

සිංදුව අහන්න මෙතනින්

 http://www.youtube.com/watch?v=phkt6tOUrfA&feature=youtu.be

ේ අදහසුත් ලියල යන්න අමතක කරන්නෙපා....