Saturday, July 27, 2013

ඔබයි - මායි

හිමි වීම්ම විතරක් තිබුණ නම් ජීවිතය කියන ගමනෙහි කොයිතරම් සුන්දරත්වයක් ඇද්ද?
ලක්ෂ කෝටි ගණනින් ඉපිද මැරෙන සිතුවිලි ළඟ හෙට ගැන හදවතේ පණ ගැහෙන සිතුවිල්ල මෙන්න මෙහෙමයි කියන්නට බැරීවීම තරම් දුකක් තවත් ඇද්දැයි මා සොයමි. වෙහෙසෙමි. 


හොල්මන..කෝ කොහෙද...

ඇයි මේ ඉන්නෙ..මාව පේන්නෙ නැද්ද..

අපොයි පේනව..ඒ වුනාට ඔය අහස පොළව ගැට ගහන්න වගේ මොනාද හිතන්නෙ..

මොකුත් නැහැ...



මොකුත් නැත්නම් යනව කටු ගෙට..

කියන කම් ඉදියෙ...

දැන් කිවුවනෙ යනව ඉතින්..

අන්න ඒ වගේ දවසක ඔයාට එපා වුනොත් මට කියන්න..

මැටි පූසි..මේකිට දෙයක් කියන්න බැරි හැටි..

මෝඩියෙ ඉන්න මොහොතෙ හිනාවෙලා ඉදින්

එහෙම ඉන්න ආසයි..ඒත් මට බයයි අයියා..

ඇත්තමයි මේකි මොකකට මෙච්චර ලොකු ඔලුවක් දුන්නත් වැඩක් නැහැ..තියෙන්නෙම මැටිම තමා..

මැටි වුනත් මං කියන්නෙ ඇත්තනෙ

මොකක්ද ඇත්ත...

මට අයියව නැති වෙයි කියල බයයි...

අපෝ හොටු කෙල්ල..ඔය ඒ වචන ටික කියා ගන්න බැරුව ඇස් දෙකෙන් ටැප් එක ඇරල...

මං නැතිවෙන්නෙ නැහැ බොල..ඒත් අපිට මොනා වෙයිද කියල අපි දන්නවද මැණික...


ම්..ඇත්ත..නිමක් නැති සිතුවිලි වැල් ළග ඇවිදින් නවතිනකොට මට මෙහෙම නොහිතා තියෙයිද..?

මම ආසයි පෙම් කරන්න 
එක කඳුළක් බිම නොහෙළා 
ඔබ එනවද හිත් මළුවේ 
පරිස්සමට අඩි තියා....

 රහසින්වත් කඳුළක් වැටෙන්නෙ නැතුව ආදරේ කරන්න තිබුණ නම්, අනේ කොයි තරම් සුන්දරද..? 
ඒත් සියල්ලම අනිත්‍යය වු මේ ලෝකෙ අපිට එහෙම උරුමයන් ලැබෙන්නෙ නැහැ. 
කොයි දේකත් දෙපැත්තක් තියෙනව. හිනා වුනොත් අඬන කියන වචනෙත් තියෙනව කියල අපි දැනගෙන ඉන්න ඕනි. ඒ තමයි ඇත්ත.. යථාර්තය.. 

ඈතින් පේන මධ්‍යධරණී මුහුදෙ රැල් නැගෙන හැටි සඳැල්ලෙ ඉදන් බලා ඉන්න මගෙ ඇස් රැවටෙනව. 
ඒ රැලි අතරින් ඔයා එනව කියල මට හිතෙනව. මගෙ හිසට අතක් තියල ලෝකෙ ගැන තේරුම් කරල දෙනව වගේ දැනෙනව..

මල් ගස්වල මල් පිපෙන්නෙ 
පරවෙන හැටි කියාදෙන්න 
තෙත් වෙන නෙත් හිස් කරන්න 
එක පාරක් හිනාවෙන්න....

හරියට ඉස්සර දවසක ඔයත් එක්ක තරහ වුනාම මතකද ඔයා කියනව ....
ම්...ම්..පිස්සියෙ....
ඇයි....
දැන් හිතන්න කළුවර එන්නෙ ඇයි..
මං දන්නෙ කොහොමද....
ඉරට මහන්සි හින්දා..
අනේ යනව යන්න.....
යනව යන්න නෙමෙයි......ඉර දවාලෙ දුන්න ආලෝකය රැස් කරගත්ත සඳ ඉර නැති අඩුව මකනව. 
හැබැයි අපි නොහිතන දේ හරියට බැටරියක් චාර්ජ් කරනව වගේ..
ඒත් ඊටත් වෙනස්..ඒ ඉර එළියෙ හඳ එළියෙ ආලෝකය අරගෙන ලෝකෙ ලස්සන කරන්න මල් පිපෙනව.. නමුත් ඇයි ඒ මල් පිපෙන්නෙ අපිට ලස්සන කියල දෙන්නෙ.. හැබැයි ඒ පිපුණ මල්ම පරවෙනව..ඒ අර ලස්සන තාවකාලිකයි කියල ආයෙමත් අපිට කියල දෙන්න...

බුදු අම්මෝ මෙයා දන්න දේවල්...
දන්න දෙයක් නෙමෙයි..කාටත් දැනෙනව සුදු..ටිකක් නැවතිල්ලෙ හිතන්න..
අනේ මට එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ..
දවසක මහන්සි වෙලා හිතන්නම වෙයි..
පිස්සු හැදෙයි....
පිස්සු හැදෙන්නෙ මෙන්න මෙහෙයි...
ඌයී....අත අතරින්නකෝ 
බෑ..හිනාවෙයන්...හිනාවෙයන්....
බෑ...මං හිනාවෙන්නෙ නැහැ.....
ඇත්තද...ඔය මුහුණ මෙන්න මෙහෙමයි...
ඊයා..හැටි විතරක්..වඳුරෙක් වගේ....
ආහ්...දැක්කද වඳුරගෙ මූණ දැකල හිනාවුන හැටි..... "ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි නගා....." මට බයයි මේකිව කවුරු හරි උස්ස යයිද කියල...
ඔව් ඔව් මම යයි...
යන නොයන හැටි කොහොම වුනත් කොයිවෙලේවත් ඇස් දෙක තෙත් කරගන්න එපා රත්තරං.. ඒ වෙලාවට එක පාරක් හිනාවෙන්න. ජීවිතේ දැනෙයි ඔයාට....

ඇත්ත..ඒ ජීවිතේ දැනෙන හැටි මං හුස්මක් හුස්මක් ගානෙ අද විදිනව. අපි අද ලෝකෙ කොහේද.. හැතැක්ම දාස් ගානක් ඈත. ඒත් පුංචි දේටත් මටත් නොදැනිම හිල්වෙන අහසක් වගේ ඇස් දෙක ඉස්සර වුනාට ඒ මැද්දෙන් හිනාවන්නෙ කියල දුන්නට කොහොම නම් මං පිං දෙන්නද....?

 ආදර ගඟ ගලා යන්නෙ 
නැහැ තැන තැන නතර වෙන්න 
සයුර වෙලා වැළද ගන්න 
ඔබට හැකිද මට කියන්න..

ඒත් ආදරේ ගලන හැටි ඔයාට කියන්න මට තේරෙන්නෙ නැහැ. ඇගේ හැම ලේ බිංදුවක් පුරාම තියෙන්නෙ ආදරේ..ඇට..මස් කකියනව ආදරෙන්... කොයිම මොහොතකවත් නතර කර ගන්න මට බැහැ... 
ඇස් ඇරෙන මුල්ම මොහොතෙ ඉදන් ඇස් පියවෙන මහ රෑ මැද්ද වෙනකම් නෙමෙයි නිදි ලෝකෙ සිහිනටයත් ඇවිදින් ළග ඉන්න හැටි දන්නෙ මං විතරයි..
 ගලායන ගඟක් වගේ මේ ආදරය..කිසිම බාධකයට නතර වෙන්නෙ නැහැ... ඒ ගඟ ගලා යන කොට පෙර මඟක ඉන්න සයුරක් වගේ 
එහෙම ඇවිදින් මාවත් බදා ගන්න පුලුවන් නේද...?

ඉර හඳ තරු වඩාගන්න 
සිඳු හට නෑ බර දැනෙන්නෙ 
හිත් කරදර මැකීයන්න 
ඔබ ඇවිදින් නතර වෙන්න...


සිහින කියන්නෙ බිඳෙන දෙයක්...ඒක මං හැමදාම කියන දෙයක්..දැනෙන දෙයක්..
ඒ වෙලාවට ඔයා
....
අනෙ මගෙ පිස්සි කියල මට හිනාවෙනව...
එකම චැට් හිස්ටොරිය....කතා කරන කෝල් එකක වචන ගැන ඔයා යන්න ගියහම ආයෙ එනකම් මට කඩපාඩම් වෙන තරමට මතකයෙ ගැවසෙනව...
හැම පුංචි අකුරක් ගානෙම..වචනයක් ගානෙම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම මං තනියම හිතනව කියල ඔයා දන්නෙ නැතුව ඇති...
ඒත් ඇත්ත ඒකයි...    

ආදරය කියන එක මේ තරම් හදවතක හැඟුම් දළුලනව කියල මං අත් විඳල තිබුණෙ නැහැ...
 
ඒ සියල්ලම තව තවත් වැඩි වෙන්නෙ ඔයා ඇවිදින් හිත සනසන්න ජිවිතේ අලුත් අලුත් මල් ඉන්දනකොට.. සත්තයි ඒ හැම මල් පොහොට්ටුවක් ගාවම මම අලුත්ම අලුත් කෙනෙක් වෙනවත ජිවිතේට ලෝබ හිතෙනව.
ලෝකෙටම වටින ඉර හඳ තාරකා දෝතින්ම බදාගෙන වඩාගන්න තරම් ශක්තියක් මහ සයුරට තියෙනව. කවදාවත් සයුරට ඉරහඳ තරු බරයි කියල දැනුනෙ නැහැ හිතුණෙ නැහැ. ඔයාටත් මාව එහෙම දැනෙන්නෙ කියල හිතෙනකොට මං කොච්චර වාසනාවන්තද...

ඒ හැමදේම පැරදෙන්නෙ ඔයා ආත්ම ගාණකට නෙමෙයි මේ සංසාරෙ නිවන් දකින්න උපදින දා තෙක්ම මාවම ඕනෙයි කියල කියනකොට මගෙ මුළු හිතම නිවී පහන් වෙනව. සත්තයි.















4 comments:

  1. කවියෙන් මෙන්ම කතාවෙන්ද ඔබ පානා මේ සුරු විරු කම් අගයමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින් අයියෙ..

      Delete
  2. කවි කතාව කියවන්නට
    ලැබුණු විටක නැවත එන්ට
    යනවා මන් ඔන්න දැනට
    හිතට වදින කවි ලියන්ට
    හැකි වේවා නුබට හොඳට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලියේ..

      Delete