Thursday, May 30, 2013

*** නොලැබීම ***

සිහිනයියා....මට ඔයාව මතක් වුනා...
ඒ අහම්බෙන් නෙමෙයි..ඇත්තටම...
මුළු නුවර පුරාම ඔය අතේ එල්ලිලා ඇවිදගෙන ගිය අතීතය මතක් වුනා..
හ්ම්..ඇත්තමයි...
නුවර පොලිසිය ගාවින් පුෂ්පදාන කන්ද නැගල හති දදා ඇවිද ගියපු අතීතය මතක් වුනා... 


මහවැලියෙ දිය බිංදුවක් බිංදුවක් ගානෙ වෙන වෙනම අරන් සාක්ෂි කියන්න පුලුවන් නම් ඒ ආදරේ වෙනුවෙන් පෙනී සිටියි..

අපේ ආදර විත්ති කූඩුවෙ තීන්දු තීරණ හැමදේම සිද්ද වුනේ අපි හිතුවෙවත් නැති විදිහට...


දන්නවද හරිම පුදුම විදිහට ඔයාව මට මතක් වුනේ ඇයි කියල...
ඒකත් මහ පුදුමයක් සිහිනයියෙ...හැන්දෑවෙ චුරු චුරු අහසක් වගේ මලානික වෙච්ච මුහුණින් ජනෙල් පියන්පත් අරිනකොට මාව පෙරළනෙ යන වේගෙන් ආව සුළඟත් එක්කම මට හන්තාන කන්ද නැගපු අතීතය මතක් වුනා..
එදා අයිය ගාවින් හමපු මුදු පිරිමි සුවඳ අදත් එනවද කියල බලන්න මං මේ සුළඟට මුළු හදවතම විවර කළා...
ඒත් එදත් අයියගෙ සුවඳ හුළග ගෙනිච්ච වගේම අදත් හුළඟ එක්කම ගිහින් කියල මට තේරුම් ගියා...පැනල බදාගන්න හදපු අතීතයෙ වගෙම අද මේ වත්මනෙත් ආදරේ හිස්තැනක් නේද කියල මට මතක් කලා...

නන්නාදුනන රටක හතර වටින්ම මහ මුහුදකින් වටවෙලා දුවගෙන දුවගෙන ගිහින් හැංගෙන්න මගේම කෙනෙක්වත් නැති දිහාවක තාමත් මං ජිවිතේ එකතු කරනව කියල දැනෙද්දි පුදුමත් හිතෙනව අයියෙ...


...සත්තමයි...මේ අහස අල්ලගෙන විරාජමානව තියෙන මහා බිල්ඩිම්වල සෙවනැල්ලත් මාව බය කරනව...
මං ගැස්සිලා ඇස් පිල්ලම් ගහන වාර ගාන මෙච්චරයි කියල කියන්න බැහැ.

පිස්සි..මොකද මේ ගැස්සිලා...
ආහ්...මං මොකටද ගැස්සෙන්නෙ..අයිය මං ළඟ ඉන්නකොට...
අපෝ ඔව්..චණ්ඩිකම පේනව ඔය කම්මුල් දෙකේම රතු පාටින්...
...අනේ යන්න අයිය යන්න...
...හා මං යන්නම්...ඔයා මෙතන ඉදන් තනියම යන්නකො...
ඒ ඉස්සරම දවස්....

තනියම දාල යනව කිවුවට කවමදාවත් දාල ගියෙ නැහැ...ඒත් කවදාහරි එනව කියල ගිය ඔයා අදටත් නැහැ කියන්න විතරක් මං දන්නව.
එහෙම වෙලාවට මං මැරි මැරි ඉපදෙන වාර ගාන මෙච්චරයි කියල මට කියන්න බැහැ අයියෙ.


මං දන්නව මේ කිසිම අකුරක් අදවත් මතුවත් ඔයා දකින්නෙ නැහැ.. දකින්න ලැබෙන්නෙත් නැහැ...

ඒ වගේම එදා හිටපු දඟමල්ල පුංචි කෙල්ල අද ජිවිතේ පරිණත වගකීම් සහිත කෙනෙක්...
එහෙම කිවුවම මට හිනාවෙයි නේද...ඒත් නොහිතනම ඇත්ත ඒක අයියෙ..පාර පැනගන්න බැරුව ඇගිල්ල කට ඇතුලෙ දාගෙන අයියගෙ මුහුණ දිහා බලපු චුටි කෙල්ල අද ලෝකෙ තව දිහාවක...
ජිවිතේ පරදින්න බැරිකමට ආදරයෙ පැරදුම බාරගත්තා කියලත් වෙලාවකට මට හිතෙනව...
මේ දැනුත් පපුව හාරල වගේ රිදුමක් ඇවිදින් ඇස් දෙක ලොකු කඳුළු ගුලියකින් බොඳවෙනව වගේ...

අයියෙ මට මාළිගාවට යන්න ඕනි...
ඉතින් මට කියන්නෙ...අර ඔයාගෙ මහ ලොකු යාළුවො ටික ඉන්නෙ...
ආහ්...මට ඕනි ඔයා එක්ක යන්න...
ඇයි කකුල් දෙක මං ගාවද...
ඔව්...ඇයි...
එන්න එපා එකටෙක කියන්න....මෝඩි...
ඔව් මං මෝඩි තමයි....
එහෙනම් මොකටද පොත් තෝරන්නෙ....
කොල්ලට දෙන්න...

ආහ් ඇත්තද....
 එදා අපේ ඉස්කෝලෙ ඉස්සරහ ශාන් බුක් ෂොප් එක ඇතුලෙදිම මගෙ කණ මිරිකපු හැටි ...
මේ දැනුත් නොදැනුවත්ම අතින් කණ අතගෑනෙව...

ඒත් පුරපෝය හඳ වහ ගන්න කළු වලාවක් වගේම අයිය මගෙ ජිවිතෙන් නොපෙනි ගියා...එදාවත් තවමත් මට මාළිගාවට යන්න බැරි වුනා කියල අයිය දන්නෙ නැතිව ඇති..

එදා බුක් ෂොප් එකේ ඉදන් එද්දි ටවුමෙ කැසට් බාර් එකකින් අයිය අරන් දුන්න දිවුල්ගනේගෙ කැසට් පටය මට දැනුත් මතක් වුනා... ඒක අයියයි මායි දෙන්නම ආස කරපු එකම සිංදුව.

.....මා ඔබත් එක්ක සුහඳ කතාවක්
ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්.....

අද අපිට ඇස් දිහා බලන්වත් ප්‍රේම කරන්න බැරි බව දන්නෙ අපි අපිම විතරයි...

හීයක වේගෙන් වගේ අතීතයට දුවගෙන යද්දි මහා වැස්සටත් වැඩියෙන් දිය ගලන් වැටෙන්නෙ මගෙ පුංචි ඇස් දෙකෙන්...
අහම්බෙන්වත් ඔය ඇස් දෙක තෙත් කරගන්න එපා පිස්සියෙ...

කියල ඔයා කොච්චර නම් කියන්න ඇද්ද... 
අහම්බය කෙසේ වෙතත් දැන් පුරුද්දක් වගේ හැම පුංචි දේටත් මගෙ ඇස් දෙකේ තෙත පිරිලා...

කවමදාහරි නීතිඥයෙක් වෙලා මහනුවර උසාවියෙ කෝට් දාගෙන ඇවිදින මඟෙ දඟ මල්ල මට මැවිලා පේනව...

කියපු සිහිනයියෙ අද කියන්න ඉතුරුවෙලා තියෙන්නෙ මේ ගමන් මඟේ දැනෙන හැමදේම තාලයකට හරවල අකුරු කරන්න පුරුදු වුන කවදාකවත් සිහිනයකවත් නොතිබුණ කවිකාරියක් වෙලා කියල විතරමයි..

ඒත් ඒ හැම කවියකමත් ආලය මට පැටලෙනව කියල කියාගන්න දන්නෙත් මංම විතරයි...






8 comments:

  1. නියම ලියවිල්ලක් බං- රස පිහිටවල ලියල තියේ !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිවුව මා මිත්‍රයට... :-)

      Delete
  2. Replies
    1. ස්තුතියි..ස්තුතියි...

      Delete
  3. හරිම අපුරුයි දිනිති. ඔබේ හැකියාව සුපිරිම තමා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නලින්...

      Delete
  4. කවිකාරියෙක්ම තමයි............

    හම්මේ.. පපුව කූල් වෙලා ගියා

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ස්තුතියි යසිත්...

      Delete